හම්බන්තොට ගැටුමේ පොලිස්‌ වාර්තාව ඉදිරිපත් කළ පසු විවාදයක්‌ දෙනවා - අගමැති කියයි

හම්බන්තොට උද්ඝෝෂණයට අදාළ පොලිස්‌ වාර්තාව සහ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඒ පිළිබඳ විවාදයක්‌ ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

හම්බන්තොටදී පසුගිය සෙනසුරාදා ඇති වූ සිද්ධිය සම්බන්ධව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස්‌ ප්‍රකාශ කරන අවස්‌ථාවේදී අගමැතිවරයා එසේ පැවසුවේය.

ආණ්‌ඩුව කිසි දිනෙක හොර ගිවිසුම් අත්සන් නොකරන බවත් පාර්ලිමේන්තුවට නොදන්වා කිසිවක්‌ නොකරන බවත් කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොටට කර්මාන්ත පුරයක්‌ අවශ්‍ය නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරන්නේ නම් ඒ බව ලිතව දන්වන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ද කළේය.

ඉන්පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අදාළ කර්මාන්තපුරය වෙනත් දිස්‌ත්‍රික්‌කයකට ලබාදිය හැකි බව කී අගමැතිවරයා හම්බන්තොටට අවශ්‍ය නැත්නම් එය පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට ලබාදෙන ලෙස දැනටමත් ජනාධිපතිවරයා ඉල්ලීමක්‌ කර ඇතැයි ද කීවේය.

මෙම කර්මාන්තපුරය හම්බන්තොටට අවශ්‍ය නැතිනම් තම දිස්‌ත්‍රික්‌කයට ලබාදෙන ලෙස මොනරාගල විජිතමුණි සොයිසා, නුවරඑළිය එස්‌. බී. දිසානායක, මහනුවර ලක්‍ෂ්මන් කිරිඇල්ල යන ඇමැතිවරුන් ද ඉල්ලා ඇතැයි ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

(දිවයින පුවත්පත ඇසුරෙනි)