මෙන්න 2016 අවුරුද්දේ බොලිවුඩයේ තිරගත වූ අසාර්ථකම චිත්‍රපට දහය

මේ වසරේ තිරගත වූ Neerja,Kapoor & Sons,Aligarth, Airlift, Dangle බොලිවුඩ් චිත්‍රපට රසිකයන්ගේ ආකර්ෂණය දිනාගෙන සාර්ථකව තිරගත වුණා. ඒ වුණත් බලාපොරොත්තු බිඳ දමමින් බොලිවුඩයේ අසාර්ථකම චිත්‍රපට කිහිපයකුත් නිර්මාණය වී තිබුණා. මේ ඉදිරිපත් කරන්නේ 2016 වසරේ අසාර්ථකම බොලිවුඩ් චිත්‍රපට 10යි.

1.Jai Gangaajal

ප්‍රියංකා ප්‍රධාන චරිතය නිරූපණය කරන මේ වසරේ තිරගත වූ එකම චිත්‍රපටය මෙයයි. දක්ෂ නළු අජේ දේව්ගන් හා ප්‍රියංකා යුවළගේ රංගනයට රසිකයන් වැඩි               කැමැත්තක් තිබුණත් 2016 වසරේ අසාර්ථකම චිත්‍රපට අතරට මේ චිත්‍රපටය එක්වීම පුදුමයක්. Parksh Jha අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රියංකා නිරූපණය කරන්නේ පොලිස් කාන්තාවකගේ චරිතයක්.

2.Mohenjo Daro

ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්‍ෂවරයකුගේ නිර්මාණයක් වගේම සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන්ගේ රංගනයෙන් හැඩ වුණත් මේ වසරේ අසාර්ථකම චිත්‍රපට 10 අතරට මෙය එක් වුණා. ප්‍රාග් ඓතිහාසික කතා තේමාවක් වීම චිත්‍රපටයේ අසාර්ථකත්වයට හේතු වන්නට ඇති බව පැවැසෙනවා.

3.Mastizaade

Kya Kool Hai Hum 3 චිත්‍රපටය වගේම ලිංගිකත්වය වැඩිපුර ගෙනහැරපාන හාස්‍යජනක සිද්ධීන් මේ චිත්‍රපටයෙ අන්තර්ගත වීම මෙහි අසාර්ථකත්වයට බලපෑවා. සනි ලියෝන්ගේ රංගනයන් දැක ගන්නට හැකි වුණත් පහත් හාස්‍ය උත්පාදනයන් රසිකයන් ප්‍රතික්‍ෂේප කරන නිසා චිත්‍රපටය අසාර්ථක වන්නට ඇති බව පැවැසෙනවා.

4.Fitoor

Rock on චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ Abhisheak Kapoor ගේ නිර්මාණයක් වුණ මේ චිත්‍රපටයත් 2016 වසරේ අසාර්ථකම චිත්‍රපට 10 අතරට එක්වුණා. කලාකාමී තරුණයකු වටා ගෙතුණු තරමක් අලස කතා තේමාවක් නිසා බොහෝ දෙනාගේ අවධානය දිනාගන්න තරම් මෙය සමත් වුණේ නැහැ.

5.Rock On 2

Rock on 2 චිත්‍රපටයේ සුරූපී නිළි ශ්‍රද්ධා කපූර්ගේ රංගනය දැක ගන්නට හැකි වුණත් රසිකයන් අතරට යන්නට තරම් මේ නිර්මාණය සාර්ථක වුණේ නැහැ. මේ නිසාම 2016 වසරේ අසාර්ථකම චිත්‍රපට ලැයිස්තුවටත් මේ නිර්මාණය එක්වීම පුදුමයක් නෙවෙයි.

6.Sanam Re

මේ චිත්‍රපටය නිර්මාණයක් විදියට තරමක් අසාර්ථකයි. පැරැණි පෙම් කතාවක් සංගීතය සමඟ මුසු කරමින් නිර්මාණය කළ මේ චිත්‍රපටය කාන්තාවකගේ අධ්‍යක්‍ෂණයක්. හාස්‍යජනක සිද්ධීන් කිහිපයක් හා තේමා ගීතයක් පමණක් මුල් වූ නිසා මේ කතා තේමාව රසිකයන් අතරට ගෙනයන්නට තරමේ සාර්ථකත්වයක් ලබා තිබුණේ නැහැ.

7.Kyaa kool Hai Hum 3

මීට කලින් තිරගත වුණ Kyaa kool Hai Hum 1, 2 යන චිත්‍රපට රසිකයන් අතරට ගියත් මේ චිත්‍රපටය අසාර්ථක වුණේ ලිංගිකත්වය ගෙනහැරපාන හාස්‍ය ගෙනෙන සිද්ධීන් කිහිපයක් චිත්‍රපටයට අන්තර්ගත වූ නිසයි. තුෂාර් කපූර් හා අෆ්තාබ්ගේ රංගනයෙන් මේ බව කැපී පෙනුණා.

8.Rocky Handsome

කඩවසම් නළු ජෝන් ඒබ්‍රහම්ගේ රංගනය ආකර්ෂණීය වුණත් ඔහු මේ චිත්‍රපටයෙහි නිහඬ චරිතයක් ලෙසින් සහ දුෂ්ටයකුගේ චරිතයක් නිරූපණය කරන නිසා මෙය ප්‍රේක්‍ෂකයන්ගේ සිත් නොගන්නට ඇති.

9.Baar Baar Dekho

කත්‍රිනාට මේ වසර එතරම් සුබදායී වුණේ නැහැ. fitoor වගේම Baar Baar Dekho යන චිත්‍රපටවල ඇගේ රංගනය දැකගන්නට හැකි වුණත් මේ නිර්මාණ දෙකම අසාර්ථක චිත්‍රපට අතරට එක් වුණා. හොඳ රංගනයක් වගේම සංගීතයත් මුසු වුණ මේ නිර්මාණය අසාර්ථක වීමත් පුදුමයක්.

10.A Flying Jatt

කඩවසම් නවක නළු ටයිගර් ෂෙරෆ්ගේ රංගනය හා ඔහුගේ ආකර්ෂණීය නර්තන විලාසය මේ චිත්‍රපටය සාර්ථකත්වයට හේතු විය හැකි බවට බොහෝ දෙනා බලාපොරොත්තු තබා ගත්තද එය අසාර්ථකම චිත්‍රපට අතරට එක්වුණේ බලාපොරොත්තු සිහිනයක් කරමින්. සුපර්මෑන් වැනි සුපිරි වීරයකුගේ චරිතයක් නිරූපණය කරන ටයිගර්ගේ රංගනය කෙතරම් දුරට සාර්ථක ද යන්නත් ගැටලුවක්.

ශාලිකා රංගනී සමරදිවාකර (මව්බිම පුවත්පත ඇසුරෙන්)